Wednesday, November 16, 2011

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ...
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ...
පොරණේ මිහිසයනේ ගොඩ නැඟූ මිනිස්සූ...
අරුමේ කිම වඳවෙන හිරු සඳිසි මිනිස්සූ...

ජේම්ස් වෝල්ටර් ෂූමාර්කර්. ඔව් මේක තමයි නම. මට ෂූමාර්කර් මහත්මයව මුණ ගැහුනෙ හරියටම දවස් හතරකට කලින්. ඒ මගේ මස්සිනා අසනීප වෙලා එයාගේ තනියට  ඉස්පිරිතාලේ ඉන්නකොට.

අපි හිටී ඇඳට අල්ලපු ඇඳේ හිටියා වයසක මනුස්සයෙක්. මම කීප වතාවක් දැක්කා ඒ මනුස්සයා තනියම නාන කාමරයට ගිහිල්ලා ඇඟ හෝදගෙන එහෙම එනවා. එවෙලේ එච්චර ගානක් වුනේ නෑ. මට හිතුනේ උපරිම වයස හැටක විතර මනුස්සයෙක් කියලා. බැලූ බැල්මට හරි ප්‍රිය මනාපයි. පොඩ්ඩක් කුදු ගැහිල හිටියට ඇවිදීම ඉතා සාමාන්‍යයි.

මම සම්පූර්ණ රැයක්ම හිටියා. මට හොදට මතකයි ඒ මනුස්සයා නිශ්ශබ්දව පාඩුවේ හිටියේ. හා හා පුරා කියල කථාවට මුල පිරුනෙ මස්සිනාගෙ ටිකට් කපපු දවසෙ උදේ. එයා මස්සිනා ගේ සුව දුක් ඇහුවා. මොකද වෙලා තිබුනෙ? දැන් හොදයිද? ඒව අහල ඉවරවුන ගමන් ඉංග්‍රීසියෙන් කථා කරන්න පටන් ගත්තා. ඒ එයාට මොකද වුනේ කියල කියන්න. කියපු විදියට එයා නෝනත් එක්ක ටවුන් එකේ යමින් ගමන් හුස්ම ගන්න අමාරු වෙලා පාරේ හිටී තැනම ඉඳගෙන තියෙනවා. ඒ නිසා තමයි එවේලේම ඉස්පිරිතාලෙට ඇතුළු වෙලා තියෙන්නෙ. කොහොම නමුත් සිදුවීම කියන්න පටන්ගත්තෙ ඉංග්‍රීසියෙන් නිසා මට හිතුනෙ දැන් අර සමහර අය වගේ  ඉංග්‍රීසියේ වහලෙක්ය දැන් ඉතින් කණක් ඇහිල ඉදලහමාරය කියලා. ඒත් මගේ සේරම උපකල්පන තවත් ඉස්සරහට කථා කරද්දි බිදිලා ගියා.

මම රේල් වේ එකේ වැඩ කලේ ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. ගොඩක් ඉස්සර. ස්ටීම් ට්‍රේන් තිබුනෙ ඒ දවස් වල. ඩීසල් ඒවා තිබුනෙ දෙකක් විතර. මම පොඩි කාලේ ඉඳල කාර්මික වැඩ වලට තමයි ආස. කෙහොමත් අපි ජර්මන් අයනෙ. අපේ තාත්තල සීයල සේරම වගේ රේල් වේ එකේ තමයි වැඩ කලේ. මගේ නම  ෂූමාර්කර්. (එතකොට තමයි මම සම්පූර්ණ නම ඇහුවෙ). ජේම්ස් වෝල්ටර් ෂූමාර්කර් (වෛද්‍ය වාර්ථාවක නම ලියවිලා තියෙනව පෙන්නුවා). දැන් වගේ නෙමෙයි ඉතින් ඉස්සර. ට්‍රේන් ඩ්‍රයිවර් කියන්නෙ ක්ලීන් සූට් කරන්න පුළුවන් රස්සාවක් නෙමෙයි. ගල් අඟුරු පටවලා, දාඩිය දාගෙන තමයි වැඩ කලේ. දැන් ඉතින් ඒවා කරන්න ඕනෙ නෑනෙ. ඒ උනාට මම ආසාවෙන් රස්සාව කලා. මට රේඩියෝ ටීව වැඩ එහෙම පුළුවන්. මම ඒ වැඩ වලට ආසයි. මම ළඟ තියෙනව තාම හොදට වැඩ කරන පරණ රේඩියෝවක්. ඒකෙ ට්‍රාන්සිස්ටර් කැපෑසිටර් නෑ. වැකූම් ටියුබ් තියෙන්නෙ. මම හදාපු පරණ සවුන්ඩ් සිස්ටම් එහෙමත් තියෙනව. මට ඕන වැඩක් කරන්න පුළුවන්. වඩු වැඩ, මේසන් වැඩ. මම මගේ සේරම වැඩ තනියෙන් කර ගන්නෙ. දැනටත් මගේ රෙදි නෝනටවත් හෝදන්න දෙන්නෙනෑ. නෝන මට හරි ආදරෙයි. දැන් වෙලා තියෙන දේට එයා කළබල වෙලා ඉන්නෙ.

මම වැඩ කරන්න හරි කැමතියි. අව්ව වැස්ස කියල බලන්නෙ නැතුව මම ඕන තරම් වැඩ කලා. දැන් මෙහෙම හිටියට තරුණ කාලේ හොදට ඇග පත තිබුනා. ජෝතිපාලගෙ වගේ බෙලි දෙකක් තිබුනා.(එහෙම කිව්වෙ හයියෙන් හිනා වෙන ගමන්. ඒ හිනාවෙ ගැබ්වෙලා තිබුනෙ ආත්ම‍තෳප්තිය). මේ ශරීරෙ ඉතින් දිරල යනවනෙ නේද? ඔයාල බුඩිස්ට්ලද?(අපි ඔව් කිව්වා). මම බර්ගර්. ඒ උනාට බෞද්ධ. මම මස් මාළු කන්නෙ නෑ, සිගරට් අරක්කු බොන්නෙ නෑ. බණ භාවනා කරනවා. ගොඩක් බර්ගර් අය සම්පූර්ණ විරුද්ධ පැත්තනෙ නේද? (ආයෙමත් පුරුදු විදියට හිනා වුනා). ගමේ අය මට කියන්නෙ සුදු මහත්තය කියලා. සුදු මහත්තය මස් මාළු කන්නෙ නෑ කියලා හිතන්නත් අමාරුයි කියල සමහරු කියනව. මම ගමේ අයට ගොඩක් උදව් කරනව. ඒ නිසි ඒ අය මට ආදරෙයි.

ඉස්පිරිතාලෙට එක්කගෙන ආව ගමන් ලේ දෙන්න ඕනෙ කියල කිව්වා. මම කැමති වුනේ නෑ. මම ඉතින් දැන් සෑහෙන කල් ජීවත් වුනානේ. මම කිව්වා මේ අයට, අපරාදේ මට දෙන ලේ වෙන සුදුසු කෙනෙකුට දෙන්න පුළුවන්නෙ කියල. හැබැයි මගේ නෝන ඇවිල්ල අඬා වැලපුනායින් ලේ ගන්න කැමති වුනා. බුදු හාමුදුරුවො දුෂ්කරක්‍රියා කලා, ශරීර අවයව පවා දන් දුන්නා. එහෙම එකේ අපට ඒ වගේ දෙයක්වත් කරන්න බැරිනම් වැඩක් නෑනෙ.

මම බුදු දහම පිලිපදිනවා, ප්‍රතිපත්ති රකිනව. සමහර හාමුදුරුවරුන්ට වඩා හොදින්. දවසක් පොරවෙන් වැඩක් කරන කොට මගේ කකුලෙ ‍පොරව වැදිල ගොඩක් ලේ ගියා. සිද්දියෙන් පස්සෙ මම දවසක් පන්සලට ගියා. හාමුදුරුවරුන්ට වුනු දේ ආරංචි වෙලා. හාමුදුරුවරුවො කියනව පීකුදු කෑවාම ලේ වඩනව කියල. මම කිවුවා ඉතින් පීකුදු වුනත් මාංශනෙ කියල. හාමුදුරුවරුවො කියනවා මහත්මයා ප්‍රාණගාතයක් නොකලනම් කෑවාම මොකද? ඉතින් මම හාමුදුරුවරුවන්ට කිව්වෙ අපි කන නිසානෙ මරන්නෙ කියලා.

(ගෙදර ඉන්නෙ ඔය දෙන්න විතරද? ළමයි නැද්ද? මම ඇහුවා) ඉන්නවා. ළමයි හතර දෙනෙක්. සේරම අය රට. ඒ අය හොදට ඉන්නවා. මට ඉතින් පෙන්ෂන් එක තියෙනවනෙ ඒ නිසා කරදරයක් නැතුව අපි පාඩුවේ ඉන්නව.

(දැන් රිටයර් වෙලා කොච්චර කල්ද?) අවුරුදු විසිදෙකක් වෙනවා.
(එතකොට දැන් වයස කීයද?) හැත්තෑඑකක් වෙනවා.

(ජර්මනියට ඇයි ගියේ නැත්තෙ?) ඉස්සර යන්න අවස්ථා කීපයක්ම තිබුනා. ඒත් ගියේ නෑ. මම සිංහල දෙමළ වලට කැමතියි. සිංහල හරි දෙමළ හරි කෙනෙක්ව බඳින්න තමයි හිතානෙ හිටියෙ. මගේ සහෝදර සහෝදරියො ගොඩක් පිටරට ඉන්නෙ.

මම ජීවිතේ ගොඩක් සැහැල්ලුවෙන් ගත කරන්නෙ. කර්මාන්තෙට තියෙන ආසාව තාම තියෙනව. රේඩියෝ ටීවි මම තාමත් හදනව. මම සිංහල සිංදු අහන්න හරි ආසයි. හිටි ගමන් පාන්දර තුනට හතරටත් හෙඩ් සෙට් එකකින් සිංදු අහනවා. (ඊට පස්සෙ සිංදු දෙක තුනක නිධාන කථාත් කිවුවා. ඒ සිංදු ට්ක නම් මතක නෑ. කොහොමහරි ඒ සිංදු මම අහල තිබුනට තේරුම දැන ගෙන හිටියෙ නෑ)

අපි එදා හවස ඉස්පිරිතාලෙන් ආවා. මම හිතන්නෙ ෂූමාර්කර් මහත්මයත් එදාම හවස හරි පහුවදා උදේ හරි ඉස්පිරිතාලෙන් යන්න ඇති.

ඇත්තටම අපි ජීවත් වෙන්න ඕන විදියටද ජීවත් වෙන්නෙ? නැත්නම් මෙලෝ හසරක් නැතුව ගාල කඩා ගත්තු හරක් වගේ දුවනවද?

ඇත්තටම අපි (මම) බුඩිස්ට්ලද?

3 comments:

  1. ඔය වගේ මිනිස්සු හම්බෙනවා අහම්බෙන්...මම ඉන්නේ උතුරු අප්‍රිකාවේ රටක..වෙසක් දවසේ මම තව එකෙක් එක්ක කන්න රෙස්‍ටුරන්ට් එකකට ගියා..මස් ජාති ඔකොම කන ගමන් බියර් එකකුත් ගැහුවා.මෙන්න එකෙක් එනවා බෞද්ධ කොඩිය ගහපු ටී ශර්ට් එකක් ඇදගෙන...මම ඇහුවා උගෙන් මේකේ තේරුම දන්නවද කියලා..ඌ මට බනත් කියලා අද බුද්දගේ උපන් දිනේ බුදු උනේ කියලා මගේ මස් පිගානටත් හොද කියලා එළවලු විතරක් කාලා ඌ ගියා...මට එවෙලෙ හිතුනා මමත් මොන බුඩිස්ට් කෙනෙක්ද කියලා...

    ReplyDelete
  2. කෝ බං උබට මොකද උනේ..මොකද පෝස්ට් එකක්වත් නැත්තේ

    ReplyDelete
  3. @ මම නොදුටු ලොවක්....
    මේ ටික දොහේ වැඩට හිර වෙලා ඉන්නෙ. ලියා ගෙන යනව එකක් ඒක දාන්න ඕන.

    ReplyDelete

මල් පඬුරු,ගල් මුල්, තක්කාලි බිත්තර ඕන එකක් මෙන්න මේකට දාන්න.