Tuesday, November 15, 2011

පොලිස් ආතල්

දැනට අවුරුදු දෙකකට විතර කලින් මගේ මෝටර් සයිකල් එක ඇක්සිඩන්ට් එකක් වුනානෙ. සිදුවීම සම්පූර්ණයෙන් කියන්න නම් අමාරුයි ඒ නිසා පෙරල කරල එහෙම සාරාංශය කැටිකොට දක්වන්නම්.

අලි වැඩේ තමයි... රා ගුඩ්ඩගේ උදව්ව....

ඇක්සිඩන්ට් එක වුනේ එක්තරා ප්‍රදේශයක පොලීසියට මීටර් දෙතුන් සීයක් දුරින්. මෝටර් සයිකල් එක පැදගෙන ගියේ මම, පිටිපස්සෙ තව මගේ යාළුවෙක් එක්ක ගියේ. අපිට පිටිපස්සෙන් තව මෝටර් සයිකල්
එක්ක යාළුවො දෙන්නෙක් ආව. අපි එදා යාළුවෙකුගේ මඟුල් ගෙදර ගිහින් එමින් ගමන්. රෑ අටට විතර පාරෙත් වාහන පේන්න නෑ ඉතින් වේගෙ හැටට විතර ගියේ. ඔහොම යනකොට එක පාරට ෆුට් සයිකල් එකක්
පාර මැද හරියෙ ඉදල අපේ හරහා දැම්ම. දානවත් එක්කම දැකල හෝන් එක ගහල බ්රේක් කලත් වැඩක් වුනේ නෑ ඒත් එක්කම හැප්පිලා ඉවරයි. මෝටර් සයිකල් එකත් එක්ක අපි දෙන්නම බිමට වැටුනා.

කොහොම හරි ඒ කිට්ටුවම හිටි කාගේ හරි උදව් අරගෙන මම නැගිට්ටා. මගේ යාළුවා පාර අයිනෙ වැතිරිල ඉන්නව දැක්කා ඒත් මම ඉක්මනින්ම ෆුට් සයිකල් එ‍කේ කෙනා ළඟට ගියා. මිනිහ වයසක මනුස්සයෙක්
මූණ වැදිල ලේ ගලනව. වටපිටාවෙ අයත් එක්ක මිනිහව පාරෙන් අයින් කරලා හොස්පිට්ල් ගෙනියන්න ක්‍රමයක් හොයන අතරෙ අපිට පිටිපස්සෙ මෝටර් සයිකල් එකේ ආපු යාළුවෙක් කිව්ව මාත් එක්ක ආපු
යාළුවට අමාරුයි කියල. බැලුවාම මගේ යාළුවගේ නළල හරියෙ ඇතුලට බැහැල. පේන්න ලේ එන්නෙ නෑ කොහෙන්වත්.පස්සෙ කොහොම හරි වාහනයක් නතර කරල දෙන්නවම හොස්පිට්ල් යැව්ව අනෙක්
යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක. ඔය සේරම වෙන අතරෙ මිනිස්සු බනිනව ෆුට් සයිකල් එ‍කේ කෙනාට මොකද මිනිහා වෙන දේ නොදැනෙන තරමට බීලා.

 කොරේ පිටට මරේ ................

දැන් මමයි ඉතිරි අනිත් යාළුවයි ඉන්ෂුවරන්ස් එකට කෝල් කලා. කෝල් කරලා අනික් අතට කොරේ පිටට මරේ කියල වෑන් එකක් හයියෙන් ආව වේගෙන්ම පාරෙ තිබුනු  මෝටර් සයිකල් එකයි ෆුට් සයිකල්
එකයි යට කර ගෙන ගියා. වෑන් එක නවත්වන්නෙ නැතුව ගිය නිසා අවට හිටී අය පිටිපස්සෙන් ගිහිල්ල කිලෝමීටරයක් විතර දුරින් කොහොම හරි ඒක නතර කර ගෙන තිබුනා. මමත් එතනට ගියා එතන තව
කලබලයක්. වෑන් එකේ පොර මිනිස්සුත් එක්කක් බැන ගෙන යන්න හදන්නෙ. මටත් ඕන වුනේ පොලිසියට එක්ක යන්න. ඒත් එක්කම සීමාව පැනපු කෙනෙක් වෑන් එකේ කෙනාට ගැහුව ලේ එන්න පාරක්. ඊට
පස්සෙ පොලිසි ගියා මිනිහවත් එක්ක. මිනිහ නීතීඥයෙක්, නියම කට උත්තරයක් දීල මිනිහ හොස්පිට්ල් ගියා. කට උත්තරේට කියල තියෙන්නෙ මම ගැහුව කියලා.

කරුමෙක මහත ...............

මගෙනුත් කට උත්තර ලියා ගත්තා. ඉතින් මම කියපු දේවල් ලියා ගනිපු කොස්තාපල් මහත්තය මට වුනු දේ ගැන අනුකම්පාවෙන් අර ෆුට් සයිකල් එකේ ගිය බීපු එකාටයි වෑන් එකේ එකාටයි පලු යන්න බනිනව
මාත් එක්ක. තව ඒ අවට හිටී කොස්තාපල්ල දෙතුන් දෙනෙතුයි ග්‍රාම ආරක්ෂකල කීප දෙනෙකුයි මට පක්ෂව කථා කලා. මට දැන් බයක් නෑ. මම කල්පනා කලේ මගේ යාළුවට කොහොමද කියල.  මගේ නිකටින්
ලේ එන නිසා කට උත්තරේ ලියල ඉවර වුනාම පොලිස් ජීප් එකකින්ම ‍මාව හොස්පිට්ල් එක්කගෙන ගියා. ගිහිල්ල බීලද නැද්ද කියල බලල බෙහෙත් එහෙම දැම්ම. ඩොකා විස්තරේ එහෙම අහල කිව්වා ෆුට්
සයිකල් එකේ ගිය බීපු එකා ඉන්නවා ඌට එහෙම අමාරුවක් නෑ සීරීම් තුවාල විතරයි හැබැයි උගෙන් හරි කරදරයි කුණුහරුප කියනව කියල. ඩොකා එහෙම කිව්වෙ මටයි කොස්තාපල්ටයි. කියල කිවිව
යාළුවටනම් අමාරුයි ඒ නිසා පානදුර හොස්පිට්ල් එකට යැව්ව කියල (ඇත්තටම එයාව එක්කරගෙන ගිහින් තිබුනෙ කොලඹ මහ ඉස්පිරිතාලෙට. එහෙම කරල තිබුනෙ වෙලාවට දෙවියො බැලුව වගේ අපේ
යාළුවෙක්මයි. එහෙම කළ නිසා තමයි යාළුවව බේරගන්න පුළුවන් වුනේ.) ඊට පස්සෙ අපි ආයෙත් ගියා පොලීසියට.

ඔන්න දැන් තමයි හොදම හරිය............

දැන් ඉතින් සෑහෙන්න රෑ වෙලා. පොලීසියෙන් කියනව මාව යවන්න බැරිලු. ඒ ඉතින් මගේ ආරක්ෂාවටලු. වෑන් කාරයගෙ කට උත්තරේ නිසා කොහොමටත් තියා ගන්න වෙනව කිව්වනෙ. අවුලක් නෑ, මමත්
ඉස්සරහ බංකුවේ ඉඳගෙන හිටිය ඉතින්.පොලීසියේ තුන් හතර දෙනයි දැන් ඉන්නෙ. අපරාදෙ කියන්න බෑ ඒ අය කෑම කෑවද කියල එහෙම අහල නිදා ගන්න පැදුරකුත් ගෙනත් දුන්නා. කාමරයක් ඇතුලෙ ඒකත්
එලා ගෙන නින්දක් දැම්ම. නිදිමත තිබුනට කොහේ නිදියන්නද, වැටුණු පාරට ඇඟ රිදෙනව කොන්දත් එක්ක. අනික යාළුවට මොනව වෙලාද දන්නෙත් නෑනෙ. කොහොමහරි ඔන්න එලි වුනා. උදේ ඉතින් මම
ආයෙත් ඉස්සරහ බංකුවේ ඉඳගෙන හිටියා. කට්ටිය දැන් එන්න එන්න වැඩි වෙනව, කවුරුත් මුකුත් අහන්නෙත් නෑ. මම කීප වතාවක් වට පිට බැලුව, ඊයේ රෑ හිටී කවුරුත් නෑ. මම හිතන්නෙ ඩියුටි මාරු වෙලා
වෙන්න ඕන. ඔහොම ඉන්න කොට තනි තරුවක් (උර හිසේ තරුව ගහපු කෙනෙක් - ලොක්කෙක්) ආව ළගට. මගේ දිහා බලලා ඇතුලේ හිටී කොස්තාපල් කෙනෙකුගෙන් ඇහුවා "මෙයා මොකද?"

කොස්තාපල් : සර් ඊයේ බයිසිකල් එක ඇක්සිඩන්ට් වෙලා... (ඔහොම කියද්දි ලොක්කා එතනට කිට්ටු කලා)

ලොක්කා : කෝ ඒ.අයි.බී. එක ගන්න බලන්න (මම හිතන්නෙ ඒ.අයි.බී. කියන්නෙ ඇක්සිඩන්ට් ඉන්ෆොමේෂන් බුක් වෙන්න ඕන).

කොස්තාපල් : මේක සර් ලියල තියෙන්නෙ පී.අයි.බී. එකේ (පී.අයි.බී. මේකෙ තේරුම නම් මට හිතා ගන්න අමාරුයි)

ලොක්කා : (මල පැනල) පී.අයි.බී. එකේ ? පී.අයි.බී. එකේ මොනව ලියන්නද? කවුද ලියල තියෙන්නෙ ? (පොර කෑ ගහන ගමන් මගේ දිහාත් මලෙන් බලනවා.. හරියට මම බලෙන් ලියවල වගේ).

(කොහොම හරි ලොක්කා පොතේ කථාන්දරේ තත්පර දහයකින් විතර බැලුවා)

ලොක්කා : (දඩස් ගාලා පොත වැහුවා) මෙයාව ඇතුලට දාන්න. උසාවි ගෙනියන්න වෙනවනෙ..

(බඩුම තමයි. මට පොල්ලෙන් ගැහුව වගේ.. මට ඉතින් ආයෙ කට හොලවන්නවත් ලැබුනෙ නෑ.. ලොක්කා එහෙම කියල එතනින් වාෂ්ප වුනා.)

කොස්තාපල් : මෙහෙමයි තුන් දෙන්නෙක්ම හෝස්පිට්ල් නිසා උසාවි දාන්න වෙනව. ලෝයර් කෙනෙකුත් අල්ලන්න. (කියන ගමන් මාව දක්කගෙන ගියා කූඩුවට..) උසාවි ගෙනියනකම් ඇතුලෙ ඉන්න වෙයි.

(පැය බාගයක් විතර ඇතුලෙ හිටියා. කොහොම හරි උසාවි ගියේ නෑ. අපේ අම්මල, යාළුවො දන්න කියන පොලිස් ලොක්කන් ලවා ඕ.අයි.සී. ට කථා කරලා එදා හවස් වෙද්දි ගෙදර යන්න අවසර ගත්තා. එහෙම

කරන්න පුළුවන් වුනෙත් බොරුවට අමාරුයි කියල හෝස්පිට්ල් එකේ හිටී වෑන් පොරගෙන් සමාව අරන් සමාදාන වුනාට පස්සෙ)



සති දෙකකින් විතර ආයෙමත් ගියානෙ............

දැන් සේරම වෙලා සති දෙකක් විතර ඇති. මගේ යාළුවනම් තාම හොස්පිට්ල් එකේ. හැබැයි ඔපරේෂන් කරල දැඩි සත්කාර ඒකකයෙත් ඉදල දැන් නම් හොද අතට හැරී ගෙන එන ගමන්. මම ආයෙමත් ගියා
පොලිසියට. ගියේ ඉන්ෂුවරන්ස් ෆෝම් එකක් අත්සන් කරගෙන පැමිණිලි පිටපතක් ගන්න. කලින් පොලීසියෙන් ගිය දවසේ අපි බයික් එකත් නිදහස් කරල ගරාඡ් එකකට දාලා තිබුනෙ. පැමිණිලි පිටපත ගන්න
තැන හිටියෙ කොස්තාපල්වරියක්. මෙන්න එතන කථාව.

කොස්තාපල්වරිය : ඇයි?

මම : මේ පැමිණිලි පිටපතක් ගන්න

කොස්තාපල්වරිය : මොකටද?

මම : ඉන්ෂුවරන්ස් එකට දෙන්න

කොස්තාපල්වරිය : ආ.. ඇක්සිඩන්ට් එකක් ද? කවදද වුනේ? කීයට ද?

මම ඉතින් දිනය, වෙලාව සේරම කිව්වා. ඊට පස්සෙ විනාඩි විස්සකින් විතර එතුමිය හරි අමාරුවෙන් නැගිටලා ගියා. තව විනාඩි විස්සකින් විතර ආයෙත් ආවා.

කොස්තාපල්වරිය : කෝ එහෙම පැමිණිල්ලක් නෑනෙ.

(හුටා.. හරිනෙ මට දැනුයි මීටරේට වැටුනෙ. එදා වෙන පොතකනෙ ලියල තියෙනව කිව්වෙ.)

මම : මිස් එදා බැලුවාම පැමිණිල්ල ලියල තියෙනව කිව්වෙ පී.අයි.බී. කියල මොකක හරි

(එතුමිය චුක්.. කිව්ව. එන්න බලන්න කියල, මටත් ඉස්සරහට එන්න කිව්ව. එතුමියට මල පැනල. වෙනසක් නෑ ඉතින් නිකන් කථා කරන කොටත් එහෙම තමයි. කට හඩත් එන්න එන්න කනට මී පැණි වගේ)

කොස්තාපල්වරිය : මේක ලියන්න ඹ්නෙ මේකෙ නෙමෙයි නෙ. මෙතන විකාරනෙ කරන්නෙ.

(කච කච ගාල කියවනව. මෙතුමිය කෑ ගහන්නෙත් සැරින් සැරේ මම දිහා බල බල. යකෝ හරියට මම ලිව්ව වගේ)

කොස්තාපල්වරිය : කෝ මේ කේස් එක තාම ඹ්පන් නෙ. මට මුකුත් කරන්න බෑ. ට්‍රැෆික් ඕ.අයි.සී. ට කථා කරන්න.

(හ්ම්.. දැන් මොනව කරන්නද. හිටිය ට්‍රැෆික් ඕ.අයි.සී එනකම්. ට්‍රැෆික් ඕ.අයි.සී ආවාම පැමිණිලි පොත අරගෙන කියවල කරල කථාව පටන් ගත්ත. මේ ඒ කථාව.)

ට්‍රැෆික් ඕ.අයි.සී : යාළුව තාම හොස්පිට්ල් ද?

මම : ඔව් සර්

ට්‍රැෆික් ඕ.අයි.සී : කොහොමද දැන් එයාට?

මම : දැන් නම් ගොඩක් හොදයි. ලඟදි ටිකට් කපයි.

ට්‍රැෆික් ඕ.අයි.සී : වෑන් එකේ කෙනා සමාදාන වෙලා තියෙනවනෙ?

මම : ඔව් සර්

ට්‍රැෆික් ඕ.අයි.සී : හ්ම්... ෆුට් සයිකල් මනුස්සයට මොකද වුණේ?

මම : එදා නම් හොස්පිට්ල් එකේ හිටියා.

ට්‍රැෆික් ඕ.අයි.සී : එදා කිව්වෙ?

මම : ඇක්සිඩන්ට් වුනු දවසේ

ට්‍රැෆික් ඕ.අයි.සී : ඊට පස්සෙ බැලුවෙ නෑ? ඒ මනුස්සයට මොකද වුනේ, තත්වෙ කොහොමද ඒව බැලුවෙ නෑ?

මම : නෑ සර්. ඇක්සිඩන්ට් වුනු දවසෙ හොස්පිට්ල් ගියාම නම් ඩොක්ටර් එහෙම බැන බැන හිටිය එයාගෙන් කරදරයි කියල. අමාරුවකුත් නෑ කියල කිව්ව

ට්‍රැෆික් ඕ.අයි.සී : හරි... හරී... මම අහන්නෙ තමුන් ඊට පස්සෙ හොයල බැලුවෙ නැද්ද? පොලීසියෙන් කට උත්තර අරන් තියෙනවද එයාගෙන්?

(අම්මට..... යකෝ මේ මොන කෙහෙල් මලක්ද?)

මම : කට උත්තර අරන් තියෙනවද කියල මම දන්නෙ නෑ සර්

ට්‍රැෆික් ඕ.අයි.සී : කෝ තමුන්ගෙ ඩ්‍රයිවින් ලයිසන් එක මෙහේද?

මම : නෑ. මම ලඟ

ට්‍රැෆික් ඕ.අයි.සී : (කොස්තාපල් කෙනෙකුට කථා කරල) මෙයාගෙ ලයිසන් එක ගන්න. (මට කියනවා) තමුන් උසාවියට එන්න. දිනයක් අපි දන්වන්නම්.

(හෙණ ගහපිය කිව්වලු.)

මම : සර් එදා අපි ඕ.අයි.සී මහත්තයත් එක්ක කථා කරල ප්‍රශ්ණෙ සමතයකට පත් කර ගත්තනෙ

ට්‍රැෆික් ඕ.අයි.සී : ෆුට් සයිකල් එකේ මනුස්සයට මොකද වුනේ කියල තමුන් දන්නෙත් නෑ, පොලීසියේ විස්තරත් නෑනෙ. කරන්න දෙයක් නෑ. එයා ඉන්න තැන දන්නව ද?

මම : නෑ ඒක දන්නෙ නෑ

ට්‍රැෆික් ඕ.අයි.සී : ඉන්න තැන හොයාගෙන මනුස්සයව එක්කගෙන එන්න පුළුවන්නම් තත්වෙ බලල තීරනයක් ගන්න පුළුවන්.

(මම හිතින් - යකෝ මම ඔටුවෙක් නෙමෙයි. කොහොම හරි පව මගේ ඇගේ ගහන්නයි හදන්නෙ. දෙන්නම්කො සළාද......)

මම : හරි මම එක්කගෙන එන්නම්

දැන් ඉතින් අර යකා ඉන්න තැනක් හොයා ගන්න එපැයි. කොහොම හරි වැඩි වෙලා ගියේ නෑ එහේ මෙහේ කැරකි කැරකි ඉන්නකොට පොර වැඩ කරන තැන (සමූපකාරෙ) දැන ගත්ත ග්‍රාමාරක්ෂක
කෙනෙක්ගෙන්. පස්සෙ මම ඒ කිට්ටුව හිටී යාළුවෙක්ට කෝල් කරල එයත් එක්ක ගියා මෑන්ස් ව හොයන්න. එදා සෙනසුරාදා දවසක්, සමූපකාරෙ වහල. ඒ උනාට මුරට හිටී කෙනාගෙන් විස්තරේ කියල ඇහුවාම
නමයි ඉන්න තැනයි කිව්වා. ඒ අනුව ගිහිල්ල ගෙදර හොයා ගත්තා.

ඇක්සිඩන්ට් එක වුනු තැනයි, සමූපකාරෙයි එක ළඟම තිබුනෙ. ගෙදර තිබුනෙ කිලෝමීටර් එකහමාරක් දෙකක් විතර එහායින්.

දැන් ඉතින් අපි ගෙදර. ෆුට් සයිකල් පොරගෙ නෝන තමයි කථා කලේ. අපිව අදුන්වල දුන්නාම හොදට කථා කලා. ඒ අයගෙ දුවත් හිටියා. දෙන්නම ඉතින් හරි අනුකම්පාවෙන් තමුන්ගෙ මනුස්සයා/තාත්තා බීලා
හිටී නිසානෙ මෙහෙම වුනේ කිය කිය හිටියා. ඒ වෙලාවෙ මෑන්ස් නිදි. පස්සෙ නෝන කථා කලාම ආව. ඇගේ තැනින් තැන සීරිලා තිබුනා, මූණ සීරිලා තිබුනා, හැබැයි ඉතින් අවුලක් නැතුව ඇවිල්ල ඉද ගත්තා.

ඕන කෙනෙකුට මෑන්ස්ව දැක්කාම හොද බේබද්දෙක් කියල පේනව. අපි වැඩිය කථා කලේ නෑ, වෙන්න ඕන දේ කිව්වා, පස්සෙ තාත්තයි දුවයි ආව පොලීසියට.

දැන් ආයෙමත් මමයි, ෆුට් සයිකල් පොරයි, එයාගෙ දුවයි ට්‍රැෆික් ඕ.අයි.සී ඉස්සරහා ඉන්නෙ. මෙන්න කථාව.

ට්‍රැෆික් ඕ.අයි.සී : ආ මෙයාද ෆුට් සයිකල් එකේ ගිය කෙනා. (ෆුට් සයිකල් දිහා බලල) කොහොමද දැන්?

(අර යකා මෙච්චර වෙලා හොදට හිටියා.. දැන් හරි අමාරුවෙන් සූ...සූ.. කිය කිය තුවාල රදෙනව වගේ කටින් උත්තර දෙන්නෙත් නැතුව ඔළුව වැනුව හොදයි කියල)

ට්‍රැෆික් ඕ.අයි.සී : කෝ මම ඇහුවෙ හොදද කියල කථා කරන්න බැරිද?

ෆුට් : දැන් ටිකක් හොදයි සර්

(හොදට රඟපානව)

ට්‍රැෆික් ඕ.අයි.සී : (මම දිහා බලල) බලනව මේ මනුස්සයෙගෙ තත්වෙ (ෆුට් දිහා බලල) තමුන් බීලා ඉදල තියෙන්නෙ නේද?

ෆුට් : නෑ සර්

(මුගේ අම්මට... යකෝ මල පනිනවනෙ. මම ඉතින් කින්ඩි හිනාවක් දැම්ම)

ට්‍රැෆික් ඕ.අයි.සී : මොකද නැත්තෙ එදා ඉස්පිරිතාලෙන් බලද්දිත් බීලනෙ ඉදල තියෙන්නෙ

ෆුට් : බියර් එකක් විතරයි බීල හිටියේ සර්

(ට්‍රැෆික් ඕ.අයි.සී ත් කොචොක් හිනාවක් දැම්ම)

ට්‍රැෆික් ඕ.අයි.සී : (මම දිහා බලල) බීල හිටියත්, වැරද්දක් කළත් මනුස්සයෙක් නෙ. තමුන්ට පොඩ්ඩක් හොයල බලන්න තිබුනනෙ. මේ මනුස්සයට මගේ තාත්තගෙ වයස ඇති. තමුන්ටත් තාත්ත කෙනෙක්
ඉන්නවනෙ. මනුස්සකම තියෙන්න ඹ්න.

(යකෝ මූ ඇත්තට ට්‍රැෆික් ඕ.අයි.සී ගේ තාත්තද මන්ද.. මෙච්චර කියවන්නෙ. මටත් දැන්නම් හොදටම කට කහනව ඒ උනාට තර්ක කරන්නෙ නැතුව හිටිය. මට ඕන මේ මඟුල ඉවරයක් කර ගන්න)

මම  : සර්. මේ සිද්දිය නිසා මගේ යාළුවට අන්තිම අමාරු උනා, මගේ බයික් එකත් ඉවරයි, ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න තමයි දැන් මෙච්චර මැරෙන්නෙ.

ට්‍රැෆික් ඕ.අයි.සී : හරි එතකොට දැන් නඩු යන්නද ඹ්න?

මම : මට ඕන එහෙම නැතුව බේරුමක් කර ගන්න. මට තව නඩු වලට රස්තියාදු වෙන්න බෑ. සල්ලියි කාලයයි නාස්ති වෙන එක වෙන්නෙ.

ට්‍රැෆික් ඕ.අයි.සී : (ෆුට් දිහා බලල) තමුන් කැමතිද සමාදාන වෙන්න?

ෆුටා ඔළුව වැනුවා

ඕන් ඉතින් ඊට පස්සෙ කට්ටියම ලොකු ඕ.අයි.සී ලඟට ගියාම, එතුමාගේ තීරණයෙන් රුපියල් හාරදාහක් ෆුට් සයිකල් පොරට දීල ඔක්කොම කෙළවරක් කරන්න කැමතිද කියල මගෙන් ඇහුවා. මමත් කැමැත්ත දීල ලියවිල්ලක් අත්සන් කරගෙන ඉතිරි වැඩත් කරගෙන ආවා.


අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ, ඔය අයට පොලීසි සම්බන්ධ අකරතැබ්බයක් උනොත් එහෙම පොලීසියේ දන්න කියන උසස් නිලධාරියෙක් නැත්නම්, නීතීඥයෙක් හරහා කථා කරන්න. ඒකෙන් ගොඩාක් කාලය,මුදල් ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය කරදර මගහරව ගන්න පුළුවන්.

5 comments:

  1. ඔයිට වඩා වෙන මුකුත් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද හරි අධ්‍යාපනයක් නැති අට පාස් බිජ්ජො ඉන්න අපේ ශ්‍රී ලංකා පොලීසියෙන්... හරිනම් පොලීසිය වගේ ආයතනයකට ගන්න ඕනේ සෑහෙන අධ්‍යාපනයක් ඇති එවුන්.. නැතිනම් උන්ට හරියාකාර සමාජ අවබෝධයක්, සිවිල් මහජන සේවය වගේ දේවල් ගැන පුහුණුවක් දෙන්න ඕනේ... ඔය ඒවාට අදාලව පත් වෙලා ඉන්න වේසපාලුවොන්ට ඒවා ගැන හැඟීමක් නෑනේ...

    ReplyDelete
  2. @Kush කුෂ්,
    ඔබ තුමාගේ ඔය කතාව හැලපෙනවා 90 දශකයට නම්. මොක්ද ඒ වෙන කන් තමයි අට පාස් උදවිය පොලීසියට බදවා ගෙන තියෙන්නේ. ඊට පස්සේ අවම සුදුසුකම වුනේ අපොස(සා.පෙළ ). වර්තමාන තත්වය කිව්වොත් ඊටත් හාත්පසින්ම වෙනස්. මෑත කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකායට එස්.අයි ලා 19ක් බදවා ගත්තා. අයදුම් පත්‍ර 27,000කින් 3400 ආසන්න ප්‍රමාණයක් උපාධිධාරීන්. නමුත් බදවා ගත්තේ 19ක් වැනි සුළු පිරිසක් පමණයි. ඒ වගේම බුද්ධි අංශයට බදාවා ගත්තා 15ක්. ඒකටත් අයදුම් පත්‍ර 30000කට ආසන්නයි. අවසානයේ බදවාගත්තේ උපාධිධාරීන් 15ක්.අවම සුදුසුකම අපොස උසස් පෙළ සමත් වීම පමණයි. මම ඔය දෙකටම ගියා . ඒත් select වුනේ නැහැ. නමුත් පොලීසිය ගැන බනින පළු යන බැනිලි අහනකොට නම් හිතෙනවා නොතේරුන එකමයි හොද කියලා. කොහොම වුනත් පොලීසියට එන උගත්තු වගේම හොද මිනිස්සු නරක් වෙන්නේ පොලීසිය ඇතුලේදීමයි.

    ReplyDelete
  3. අපොයි කතා කරල වැඩක් නෑ බන්.... පොලිසිය එක්ක ගනුදෙනු විශෙශයෙන්ම ඇක්සිඩන්ට් එකකදි... දෙපැත්තෙන්ම කන්න බලන්නේ... බොහොම කලාතුරකින් තමයි හොඳයි කියල කියන්න පුළුවන් කෙනෙක් ඉන්නේ.

    ReplyDelete
  4. මෙන්න මේ වගේ වෙලාවට තමයි මිනිස්සු නීතිය තමන් අතට ගන්න බලන්නේ. දැන් කියන්න බලන්න මේ සිද්ධිය වුනේ තමන්ට නම් තමන්ට ඒ වෙලාවෙ සිතුන දේ මොනවාද කියලා. මත විමසීමක් කලොත් සිද්ධියට අදාල දෙතුන් දෙනෙකුට පිහියෙන් අනින්න නොසිතුනු අයගේ සංඛ්‍යාව ඉතාම අඩු වේවි.

    ReplyDelete
  5. ඔයින් ගියා ඇති....ඇක්සිඩන්ට් වෙච්ච තැනට ගිහිල්ලා සඟවපු ආයුධ එහෙම හොයන්න ගියානං බඩු බනිස්.....

    ReplyDelete

මල් පඬුරු,ගල් මුල්, තක්කාලි බිත්තර ඕන එකක් මෙන්න මේකට දාන්න.